Sunday 3 November 2013

අත් වැල් පාළම අබලන් මරුවා අත ළඟ


වසර 100 කටත් වඩා පැරැණි බදුල්ල අන්දෙණිය අත්වැල් පාලම නිසි නඩත්තුවක් නොවීමේ හේතුවෙන් අද වන විට මහත් අවධානමකට ලක්ව ඇත.මෙම පාලම ප්‍රතිසංස්කරනය කිරීමට  බලධාරීන්ගේ කිසිදු උනන්දුවක් නොමැති බවද පෙනී යයි.


අඩි 300 ක් පමණ දිගින් යුක්තව බදුලු ඔය හරහා තනා ඇති මෙම පාලමෙන් දිනකට ජනතාව 1000 කට අධික සංඛ්‍යාවක් එහා මෙහා ගමන් කරන බව ප්‍රදේශවාසීන් පවසති.කුට්ටියගොල්ල,නෙළුම්ගම,අන්දෙනිය,හෑගොඩ,කලන්වත්ත ආදී ගම්මාන වල පාසැල් ළමුන්,රජයේ සේවකයින් මෙන්ම පුද්ගලික ආයතනවල සේවකයින් මේ නිසා මහත් අපහසුතාවයට පත්ව සිටිති. මෙම පාලම නොමැතිවුවහොත් කි.මි. 5 ක් පමණ දුර ගෙවා විකල්ප මාර්ග භාවිතා කිරීමට සිදුවන බවද ඔවුහු පෙන්වා දෙති.
පාලමේ තැනින් තැන ලී ගැලවී ඇති අතර ඒවාට ගම්මුන් මැදිහත්ව උණ බම්බු සහ ලී කොට යොදා තාවකාලික විස‍දුමක් ලබා දී ඇත. යකඩ කම්බි බොහොම්යක් දිරාපත්ව ඉතාමත් අබලන් තත්ත්වයක පවතී. ඒවාද ගම්වාසීන් විසින් කම්බි වලින් ගැට ගසා ඇත. පාලමේ එක් අන්තයක් වැල් පාලමක තත්ත්වයට පත්ව ඇත. කොයි මොහොතේ කඩා වැටේදැයි සැක සහිත තත්ත්වයක පවතින මෙම පාලම භාවිතා කරන ජනතාවගේ ජීවිත වලට මහත් තර්ජනයකි.
පාලමට සවිකොට ඇති විදුලි පහන් අක්‍රිය තත්ත්වයේ පවතින බවත් එම නිසා රාත්‍රී කාලයට පාලමෙන් ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති අතර දවල් කාලයේ  මිනිසුන්ගේ කකුල් ගැලවුණු ලී අතර හිරවෙන බව පෙන්වා දෙන ගම්වාසීන්ගේ ඉල්ලීම වන්නේ ඉදිරි වැසි කාලයට පෙර කෙසේ හෝ මෙම පාලම ප්‍රතිසංස්කරණය කර දෙන ලෙසයි. අනතුරක් වීමට පෙර මේ ගැන බලධාරින්ගේ අවධානය යොමුවනු ඇති බවට ප්‍රදේශවාසීන් විශ්වාසය තබාගෙන බලා සිටිති.
@ ජයසේන විජේනායක බදුල්ල

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...