Sunday 3 November 2013

අකුණු සර කළ විපතක්

වදුරඹ පහළ ලේලවලදී සහ පෝද්දල මීපාවලදී පෙරේදා (02) සවස අකුණු සැර වැදීමෙන් පහලොස් හැවිරිදි පිරිමි ළමයෙකු සහ පනස් පස් හැවිරිදි දෙදෙරු පියෙකු මියගොස් ඇති අතර තවත් සිසුවෙකු තුවාල ලබා තිබේ.මෙසේ මියගොස් ඇත්තේ වදුරඹ පහළ ලේල්වල කිරින්දලහේන පදිංචිව සිටි පහලොස් හැවිරිදි කේ ජී හසිත එරංග සහ පෝද්දල මීපාවල පදිංචිව සිටි හේමචන්ද්‍ර මනම්පේරි (55) නැමති දෙදරු පියෙකි.

අකුණු සැර වැදී මියගිය හසිත එරංග



 මියගිය හේමචන්ද්‍ර මනම්පේරි

හසිතට අකුණුසැර වැදුණු තැන

 හේමචන්ද්‍රට අකුණු සැර වැදුණේ මෙම ගව මඩුව අසළදීය

 අකුණු සැර වැදී වසුපැටවෙකු මියගොස් තිබු අයුරු

 මියගිය හසිතගේ පියා කේ ජී ප්‍රේමසිරි

 මියගිය හේමචන්ද්‍රගේ බිරිද

මියගිය හසිත එරංග තවත් මිතුරන් දෙදෙනෙකු සමග අඹ කඩමින් සිටියදී අකුණු සැර වැදී මියගොස් තිබූ අතර අනිත් පුද්ගලයා මියගොස් ඇත්තේ තම ගෙවත්තේ ඇති ගවමඩුවේ
සිටි වසුපැටවෙකු පිළිබදව සොයා බැලීමට ගිය අවස්ථාවේය.

මෙසේ ශෝකජනක ලෙස මරුමුවට පත්වූ හසිත එරංගට අකුණු සැර වැදීම පිළිබද තොරතුරු සොයා කිරින්දලහේනට අප ගිය අවස්ථාවේදී සහන් විදුරංග නැමති සිසුවා අප සමග මෙසේ කීය.

මමත් එරංගත් සුපුනුත් සවස එකයි හතලිස් පහට විතර අඹ කැඩීමට ගියා.ඒ වේලාවේ පොද වැස්සකුත් තිබුණා.අපි අඹ ගස්වලට පොලු ගසමින් අඹ කැඩුවා.අඹ ගසට ගැසූ පොලු
කෑල්ලක් අහුලාගෙන ඒමට මම වත්ත පහළට ගියා.මියගිය හසිත එරංගත් සුපුනුත් අඹ ගහ යට හිටියා.ඒ වේලාවේ එක්වරම විශාල හෙණ ශබ්දයක් ඇසුණා.මම උඩට ඇවිත් බලනවිට
එරංග හා සුපුන් දෙදෙනා බිම වැටී සිටියා.එරංග කතා කළේ නැහැ.සුපුන් බිංදු කියා මට කතාකළා.මම වහාම දුවගොස් මේ සිද්ධිය ඔවුන්ගේ ගෙවල්වලට කීවා.මිතුරන් දෙදෙනාම
කරාපිටිය රෝහලට ගෙන ගියා.හසිත එරංග මියගොස් ඇති බව දැනගත්තා.සුපුන් දේශප්‍රිය රෝහලේ නතර කළා.හසිත එරංගගේ පියා වන කේ ජී ප්‍රේමසිරි සිද්ධිය වූ ස්ථානයේදී
අපට හමුවිය.දැඩි ලෙස කම්පාවට පත්ව සිටි හෙතෙම පුතුගේ වියෝව ඉවසාගත නොහැකිව විලාප දෙමින් හඩාවැටෙන අයුරු අපට දැකගන්නට ලැබුණි.මොහොතකට ඔහු හැඩීම
නතර කළ අවස්ථාවේ අපි හසිතගේ පියාගෙන් මේ පිළිබද තොරතුරු විමසුවෙමු.

හසිත පුතා බද්දේගම ගිනිමැල්ලගහ වෘත්තීය පුහුණු අධිකාරියේ පාඨමාලාවක් හදාරමින් සිටියා.මෙම අනතුර සිදුවන දින මම රැකියාවට ගොස් සිටියා.පුතා දවල් ගෙදර ඇවිත්
යාලුවන් කීපදෙනෙක් සමග අඹ කැඩීමට ගොස් තිබුණා.ඒ වේලාවේ තමයි පුතාට මේ අනතුර සිදුවී තියෙන්නේ.

හසිත එරංගට සිදුවූ අනතුර පිළිබද තවදුරටත් කිසිවක් නොකියා ඔහු එක්වරම මහ හඩින් හඩාවැටීමට පටන් ගත්තේය.පුතුගේ වියෝව පිළිබදව වේදනාව විදදරාගත නොහැකි
මෙම පියාගේ සිත නොරිදවා අපි එතැනින් පිටත් වුණෙමු.

ඉන් අනතුරුව අප අකුණු සැර වැදීමෙන් මියගිය හේමචන්ද්‍ර මනම්පේරිගේ නිවස සොයා පෝද්දල මීපාවලට ගියෙමු.

හේමචන්ද්‍ර මනම්පේරිගේ හදිසි වියෝව අසා ගම්වැසියන් විශාල පිරිසක් එම අවස්ථාවේ ඔහුගේ නිවසට පැමිණ සිටියහ.තම සැමියාගේ හදිසි වියෝවින් ශෝකයට පත්වූ හේමචන්ද්‍රගේ
බිරිද හඩාවැටුණු අයුරු හැමදෙනාගේම සිත් සසළ කළේය.ඇයද මහ හඩින් හඩාවැටිම මොහොතකට නතර කළ අවස්ථාවේ අපි ඇයගෙන් එම අනතුර පිළිබද තොරතුරු විමසුවෙමු.

ඊයේ සවස දෙකට විතර ධාරානිපාත වැස්සක් කඩා වැටුණා.සැමියා කුඩයක් ඉහළගෙන ගවමඩුව පැත්තට ගියා.අපේ ගව මඩුව තියෙන්නේ වත්තේ උඩ කොටසේය.ගව මඩුවේ ඉන්න
වසුපැටියා තෙමෙනවාද කියා බලන්නයි සැමියා ගියේ.ඒ වේලාවේ මම නිවස තුළ සිටියා.එක්වරම විශාල ශබ්දයක් ආවා.ඒ සමගම නිවසේ විදුලිය විසන්ධි වුණා.අකුණු පහරත් සමග
මටත් විදුලිසැර වැදුනා.මම විසිවී ගොස් වැටුණා.ඒ වේලාවේ නිවසට ඇතුලුවුණ පුතා අම්මාට මොකද වුණේ කියා ඇහුවා.මට කරන්ට් එක වැදුණා කියා මම පුතාට කිව්වා.පුතා ඇහුවා
තාත්තා කොහිද කියා.මම කිව්වා තාත්තා ගව මඩුව පැත්තට ගියා කියා.ඊට පසුව පුතා දුවගෙන ඇවිත් කිව්වා තාත්තා බිම වැටිලා ඉන්නවා කියා.අසල්වැසියන් කිහිපදෙනෙක්ම
අප සමග කීවේ මියගිය හේමචන්ද්‍ර කිසිවෙකුටත් වරදක් නොකරන අහිංසක පුද්ගලයෙකු බවය.එමෙන්ම ඔහු සතුන්ටද දැඩි ආදරයක් දැක්වූ නිසා මහ වැස්සට තම වසුපැටවෙකු
තෙමෙනවාද කියා බැලීමට ගිය අවස්ථාවේ ඔහු මෙම අනතුරට මුහුණපා තිබුණි.

ආර් එල් දීයගහගේ

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...