සමනල සංධ්වනිය සාම්ප්‍රදායික සිනමාවෙන් වෙනස් වනුයේ ගීතයම පදනම් කරගෙන යැයි පැවසීම වඩාත් යෝග්‍ය වේ. මෙහි ගීතය යනු සිනමා කෘතියේ ශරීරයයි. වෙනත් ආකාරයකින් පවසන්නේ නම් සමස්ත නිර්මාණයම ගීතයකි.
ආරම්භයේ සිට අවසානය තෙක් එකම රිද්මයකින් ගැයෙන ආදරයේ ගීතය අන් කිසිදු සිනමා නිර්මාණයකින්
ධ්වනිත නොවූ රිද්මයක් ජනිත කරයි. ආදරය යන යෙදුම සිංහල සිනමාවේ භාවිතයට ගැනුණේ සංකල්පයක්
වශයෙන් නොව සිරුරේ විවිධ වේදනාවන් සඳහා ඇඟග ගල්වන ආලේපයක් තරමට භෞතිකමය වූ වටිනාකමක් සහිතවය.
එහෙත් ජයන්ත චන්ද්‍රසිරිගේ සිනමා භාවිතය තුළ ආදරය නමැති විශ්ව සංකල්පය පිළිබඳ අර්ථ විවරණයෙහි
පවත්නා ප්‍රබල බව මැනවින් ප්‍රකට කෙරේ.
සිනමා නිර්මාණයක සාර්ථක බව හා උසස් බව යනු එකක් නොව ප්‍රධාන කරුණු දෙකකි. විශාල ප්‍රේක්‍ෂක
සංඛ්‍යාවක් එය නැරඹීමෙන් හා ආදායම් වාර්තා බිහිවීමෙන් අදාළ සිනමා නිර්මාණය සාර්ථක වූ බැව් පැවසිය
හැකිය. එම සාර්ථකත්වය සඳහා නිර්මාණශීලී ප්‍රචාරණය පමණක්ම ප්‍රමාණවත් වේ. එහෙත් උසස් සිනමා
නිර්මාණයක් හඳුනා ගැන්මට යථෝක්ත සාර්ථකත්වය ප්‍රමාණවත් නොවේ. ප්‍රේක්‍ෂක රසිකත්වය ආනන්දයෙන්
ප්‍රඥාව කරා රැගෙන යාමට අනුබල සැපයෙනුයේ උසස් සිනමා නිර්මාණ මගිනි.
සමනල සංධ්වනිය නැරඹූ ප්‍රේක්‍ෂකයෙක් දර්ශනය අවසාන වන විට තමන්ගෙන්ම ප්‍රශ්නයක් නොවිමසන්නේ
නම් ඒ හදවතක් නැති අයෙකු පමණි. සැබවින්ම මෙහි ප්‍රේක්‍ෂකයා තාරුණ්‍යයේ පසුවන්නෙක් හෝ එම විය
ඉක්මවූවෙකු විය යුතුය. 'සමනල" යන නාමය යෙැ පමණින් මෙහි ළමුන් සඳහා අළෙවි කරන්නක් ඇතැයි
වරදවා වටහා ගෙන සිනමා ශාලාවට ඇතුළු වියයුතු නොවේ. සෑම මිනිසෙකුටම තමන් තව කෙනෙකුට ආදරය කරන්නේද යන පැනය ඉතිරි කර තිබීම මෙම සරල සිනමා කෘතියෙහි ගැඹුරු අරුත පෙන්වා දෙන්නකි.
ආදරය සඳහා පුළුල් මනොවිශ්ලේෂණීය පදනමක් සහිතව චරිත නිරූපණය සිදු කිරීම මෙම සිනමා වියමනෙහි
උසස් බව කෙරෙහි ඉවහල් වී තිබේ. වාදීශ නමැති තරුණ සිසුවාගේ මනෝභාවයන් ආදරය නමැති විශ්ව සංකල්පය කේන්ද්‍ර කර ගනිමින් ගොඩ නැගෙන ආකාරය සහ එහි පවත්නා සංකීර්ණත්වය විටෙක මාර්ටින් වික්‍රමසිංහයන්ගේ විරාගය නවකථාවෙහි අරවින්දගේ මනෝභාවයන් තරමට සංකීර්ණ තලයක පිහිටනු පෙනේ. එකී චරිතද්වය එකිනෙකට සමාන බවක් මෙයින් අදහස් නෙකෙරේ.
වාදීශගේ චරිතය සඳහා උද්දික ප්‍රේමරත්නගෙන් ලැබෙන රංගන දායකත්වය මෙන්ම එම චරිතයෙහි ළමා
අවදිය නිරූපණය කෙරෙන රංගන ශිල්පියාගේ විශිෂ්ට රංගනය යථෝක්ත මනෝභාවයන් මැනවින්
ප්‍රතිනිර්මාණය කිරීමෙහි ලා බොහෝ සේ පාදක වී තිබේ. වාදීශගේ චරිතය ප්‍රේක්‍ෂකයාට මෙන්ම
රංගන ශිල්පියාටද වෙහෙසකර වූවක් නොවේ. ජීවිතයෙහි සරලත්වය තුළම නිධන්ගතව පවත්නා ආභ්‍යන්තරික මනෝභාවයන්හි ගම්භීරත්වය එම චරිතය තුළින් නිරූපණය කෙරේ.
කවදත් සිංහල සිනමාවට සොඳුරු හැඩතලයක්ම දායාද කරන යශෝධා විමලධර්ම ශිල්පිනිය පුන්‍යාගේ
චරිතයට සමාරෝපිතව තිරයෙහි නොව ප්‍රේක්‍ෂකයා අතරෙහි සිටිමින් සෑම රසික හදකටම ආදරය මේ යැයි
කොඳුරන්නීය. රංගන ශිල්පීන් තෝරා ගැනීමෙහි ලා සිනමාවේදියාගේ විමසුම් නුවණ අගය කළ යුතු
වන්නේ එබැවිනි. තරුණ තරුණියන්ගේ බාහිර අඟගපසඟග වර්ණවත් කෙරෙමින් ඕලාරික රස ජනනය කෙරෙන අවර ගණයේ කලාවෙන් ගිලන් වූ සිංහල ප්‍රේක්‍ෂකයාට ගැයෙන සෙත් කවිය සමනල සංධ්වනියයි. වියපත් වූ අඹුසැමි යුවළකට වුවද මෙම සංධ්වනියෙන් අන්‍යෝන්‍ය ආදරය ආවර්ජනය කෙරෙනු නිරනුමානය.
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා" යනුවෙන් සිනමා නිර්මාණයට මුසු වුණු අමරසිරි
පීරිස්ගේ හඬ පෞරුෂය සහෘද මනසට කෙරෙන ශාන්තිකර්මයකි. සංධ්වනියෙහි ආත්මීය ප්‍රකාශනයට සංගීත ස්වර නිර්මාණය කළ දර්ශන රුවන් දිසානායකගේ දායකත්වයද මෙහිදී ප්‍රකටව පෙනේ.
සිනමා වර්ණ භාවිතය ශිල්පීය විධික්‍රමයක් පමණක් නොව එමගින් ආධ්‍යාත්මික ආමන්ත්‍රණයක් සිදු
කළ හැකි බැව් මෙම සිනමා නිර්මාණයෙන් මොනවට පැහැදිලි කෙරේ. වසරකට වතාවක් කුමරි උද්‍යානයට එන පුන්‍යාගේ දර්ශන සහිත සෑම රූප රාමුවකම පාහේ පසුබිම අඳුර බහුල වූවකි. එහෙත් වාදීශගේ හමුවීමත්
සමග ඇය සුදු වර්ණය බහුල වස්ත්‍රාභරණවලින් මෙන්ම දීප්තිමත් පසුතලයක නිරූපණය කෙරෙනු පෙනේ.
එමගින් ඇගේ ආධ්‍යාත්මික වෙනස කියවීමට ප්‍රේක්‍ෂකයාට අවකාශ සැළසේ. වාදීශගේ විවාහ ජීවිතය තුළ කළු
වස්ත්‍රවලින්ම නිරූපණය කෙරුණු චරිතය සුදු වස්ත්‍රයකට මාරුවනුයේ සිය සිතෙහි පැවති රහස පුන්‍යාට
ප්‍රකාශ කොට නිදහස් වීමෙන් අනතුරුවය. වාදීශගේ ළමා කාලය නිරූපණය වන බොහෝ රූප රාමුවල නිල්
සහ සුදු මිශ්‍රිත වර්ණ සංයෝජනය ඔහුගේ ගුප්ත චෛතසික ස්වභාව සායම් කිරීමක් බඳුය.
විවිධ කැමරා කෝණ මැනවින් ගැළපීමෙන් ප්‍රේක්‍ෂක ඇස විඩාවෙන් තොරව ආදරයේ සංධ්වනිය සමග දෝලනය වන්නට ඉඩහැර තිබීම විශේෂිතය. පුන්‍යා විසින් ලියන ලද ලිපිය පොතක් යටින් මතු කිරීමට වාදීශ දරන උත්සාහය පෙන්වන සමීප රූපය සමස්ත තේමාවම හකුළුවා දැක්වීමක් වැනිය. වාදීශගේ උපන්දින සාදයකදී සිය සොහොයුරා සමග මුහුණට මුහුණ හමුවන සමීප රූපය සහ ඒ මොහොතේ සිදු කෙරෙන සංවාදය තීව්‍රත්වයට පත්වන්නේ දෙදෙනාගේ මුහුණුවලට මැදින් පෙනෙන බිත්තියේ එල්ලා ඇති බිරිඳ හා දියණිය සමග සිටින වාදීශගේ ඡායාරූපයෙනි.
සුළු චරිත නිරූපණයේදී ගරු චරිත භාවිතය පුළුල් ලෙස සිදු කෙරෙන අතරම එය සිනමා නිර්මාණය ජනප්‍රිය කරවීම සඳහා නොව ප්‍රේක්‍ෂකයා වඩාත් සජීව අත්දැකීමක් වෙත රැගෙන යාමට සිදු කෙරුණු ප්‍රයෝගයක් බැව් පෙනේ. උරේෂා රවිහාරී, ජැක්සන් ඇන්තනී, සහ අනර්කලී ආකර්ෂා යන චරිත භාවිත කෙරෙනුයේ වෙස්වලාගත්තවුන් ලෙස නොව ඔවුන් ඔවුන්ම බැව් අපට ඒත්තු ගන්වමිනි. කුමරි උද්‍යානයේ සිටින මිනිසුන්ගේ විකට චරිතද්වය එසේ නිරූපණය කළේ ඇයිද යන්න ගැටලුවකි. ඔවුන් දෙදෙනාගේ විකට රංගනයෙන් සිනමා වියමනෙහි අර්ථයට හෝ සෞන්දර්යයට ප්‍රබල ආලෝකයක් නොලැබෙනු පෙනේ
නැවුම් ලෙස සිතන මිනිසුන්ගේ අවශ්‍යතාව සිංහල සිනමාවට දැඩිව දැනෙන අවදියක ආදරය වැනි සුලබ
තේමාවක් ගැඹුරින් විවරණය කෙරෙන සමනල සංධ්වනිය සිනමාවෙහි සියලු ශිල්පීය භාවිතයන් සුභාවිතයෙන්
එක්තැන් කළ නිර්මාණයක් සේම සිංහල සිනමාවේ ඉන්ද්‍රජාලිකයන් අතර පොළොවේ පයගැසූ මිනිසෙකුගේ
නිර්මාණයක් බැව් සඳහන් කරනු වටී.
@ කථිකාචාර්ය නිමල් විජේසිරි
No comments:
Post a Comment