Saturday 14 December 2013

බිබිල සහ මොණරාගල දුෂ්කර පාසැල්වල ලමුන්ට ආධාර පිණිස උතුරු එංගලන්තයේ පාසැල් ලමුන්ගෙන් ක්‍රීඩා සහ අධ්‍යාපනික භාණඩ සල්පිලක්

ලංකාවේ දුෂ්කර පළාත් වල පාසැල් වලට අතහිත දීම සඳහා උතුරු එංගලන්තයේ නෝර්තම්බර්ලන්ඩ් පළාතේ ශ්‍රි ලංකාවට හිතැති පිරිසක් මගින් පිහිටුවාගෙන ඇති 'Sri Lanka Schools Project' නමැති පුණ්‍යායතනයේ (Charity) අරමුදල් එකතු කිරීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (දෙසැම්බර් 7) දින නෝර්තම්බර්ලන්ඩ් හි මෝර්පත් (Morpeth, Northumberland) නගරයේදී පැවැත්විනි. මෙදින කුඩා දරුවන්ගේ සෙල්ලම්බඩු සහ  අධ්‍යාපනික උපකරණ සල්පිලක් පැවැත්විනි. මෙම සල්පිලෙහි විකිණීම සඳහා භාණ්ඩ බොහොමයක් පරිත්‍යාග කරනු ලැබූයේ ප්‍රදේශයේ පාසැල්වල ඉගෙනුම ලබන දරු දැරියන් විසිනි. මෙදින මෝර්පත් සහ අවට වාසීන් විශාල පිරිසක්  සල්පිලට පැමිණියහ.

මෙම ව්‍යාපෘතියේ මූලිකත්වයෙන් නෝර්තම්බර්ලන්ඩ්  පලාතේ පාසැල් කිහිපයක් පසුගිය අවුරුදු කීපය තුල  මොණරාගල සහ බිබිල ප්‍රදේශයේ පාසැල් 10කට පමණ මුදලින් සහ ද්‍රව්‍යමය වශයෙන් (පරිඝණක, අධ්‍යාපනික උපකරණ, සහ පොත් පත් යනාදිය ) අධාර ලබාදී ඇත. තවද, මෙම ව්‍යාපෘතිය හා සම්බන්ධ පාසැල් ලමුන් ලංකාවේ ලමුන් සමග විෂයානුබද්ධ අධ්‍යාපනික තොරතුරු හුවමාරු කරගන්නා අතර, 2011 වසරේදි නෝර්තම්බර්ලන්ඩ් ඈස්ලි උසස් පාසැලේ ලමුන් අට දෙනෙක් බිබිල සහ මොණරාගල තෝරා ගත් පාසැල් කිහිපයක දින 10ක වැඩසටහනකට සහභාගි වෙන ලදී.

මෙම වැඩසටහන සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන්නේ ව්‍යාපෘතියට සම්බන්ධ ප්‍රදේශයේ ලමුන්ගේ ඉමහත් කැපවීමෙන් සොයා ගන්නා අරමුදල් වලින් සහ ව්‍යාපෘතිය පවත්වාගෙන යන පුණ්‍යායතනයේ සභාපති විශ්‍රාමික විදුහල්පතිවරයකු වන ඉයන් නයිට් (Ian Knight) මහතාගේත් ඔහුගේ පවුලේ අයගේ සහ හිතමිතුරන්ගේත් දායකත්වයෙනි. 2004 සුනාමියෙන් අවතැන්වූවන් වෙනුවෙන් ආධාර උපකාර කිරීමෙන් ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය මේ වන විට රුපියල් මිලියන තුනකට අධික ප්‍රමාණයක් මෙම වැඩසටහන සඳහා යොදවා ඇත. මෙම ව්‍යාපෘතියේ ලංකාවේ සම්බන්ධීකරණය කරනු ලබන්නේ අස්ගිරි විහාරවාසී පූජ්‍ය මැදගම ධම්මානන්ද ස්වාමීන් වහන්සේ ගේ මූලිකත්වයෙන් මහනුවර ජයග්‍රහණය ශ්‍රි ලංකා සංවිධානය මගිනි.

වැඩි විස්තර මේ සබැඳියෙන් ලබාගත හැක.

සල්පිලෙහි ඡායාරූප කිහිපයක් පහත පලවේ.





No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...